Thursday, July 26, 2018

දුනුමාල දෙවියන් පිළිබඳ ජනප්‍රවාද

  ගස් අතු බැඳීම



          පරම්පරා ගණනාවක පටන්ම ගමේ යමක් කමක් ඇත්තන් වශයෙන් සියලු දෙනාම හඳුනාගෙන සිටියේ ජයසිංහ පරම්පරාවයි .මේ දිනවල ජයසිංහ නිවසට ඉස්පාසුවක් නොමැත්තේ ජයසිංහ නිවසේ කණිටු පුතුගේ විවාහ මංගල්‍යය නිසාය.නොබෝ දිනකින්  මනාලිය කැන්දා ගෙන ඒමේ උත්සවයට සියලු දෙනාම ලක ලැහැස්ති වෙමින් සිටිති .මිල මුදල් යහමින් තිබෙන මේ පවුල කෙරෙහි ගම්වාසීන් තුළ ඇත්තේ ප්‍රසාදයකි .ඒ නිසාම ජයසිංහ නිවසේ ඕනෑම වැඩ කටයුත්තකදී නොපිරිහෙළා තම දායකත්වය සපයන්නට ගම්වාසීන් මැලිකමක් නොදක්වති .

          මනමාල මහතාටත් වඩා මේ මංගල්‍යය ඉහළින්ම සිදු කරන්නට  උනන්දුව ඇත්තේ  ජයසිංහ මහතාටය.මීට වසර දෙකකට උඩදී තම දෙටු පුතුගේ විවාහ මංගල්‍යය සම්බන්ධයෙන් ද ඔහු දැරුවේ මේ අදහසමය.පුතුන් පරම්පරාවේ අභිමානය වුව ද දියණියක් නොමැතිකම පිළිබඳව ඔහු තුළ කනස්සල්ලක් නොතිබුණාම නොවේ.තම පුතුගේ සහකාරිය වී ලේලියක ලෙසින් තම පවුලට එකතු වුවද ඒ දියණිය  තම දියණියක් වැනි ම බව ජයසිංහ මහතා නිතර සිතන කරුණකි.

          දැන් එම දියණිය නව  මස් ගැබිණියක වූවාය.පරම්පරාවට අලුතින්ම සාමාජිකයෙකු එකතු වීමත් , කණිටු පුතුගේ විවාහ මංගල්‍යයත් නිසා මේ දිනවල ජයසිංහ නිවසට සොම්නස් සහගත කාර්යබහුලත්වයක් අරෝපණය වී ඇත.

         මනාලිය කැන්දා ගෙන ඒමේ උත්සවය මහ ඉහළින් සමරන්නට ජයසිංහ නිවස ද ගජරාමෙට සූදානම් වේ.ජයසිංහ මැණිකේ මේ සියලුම කටයුතු මනාව සංවිධානය කළාය.උත්සව දිනයේදී ඉවුම්පිහුම් කටයුතු නිවස තුළම කිරීම සියලු දෙනාගේම යෝජනාව විය.ඒ සඳහා අවශ්‍ය බොහෝ දෑ දැනටමත් සූදානම්  කර අවසන්‍ ය.සිරිපාල කොලුවා ගමේ නොසිටීම නිසා අතපසු වූ එකම කාරිය වූයේ පොල් කඩා අවසන්‍ කිරීම පමණි.එම වැඩය නිම කිරීමට ජයසිංහ මහතා සිරිපාල එන තෙක් බලා සිටියේ නැත.වත්තෙහි වූ පොල් ගස් සියල්ලකම පාහේ පොල් කඩා අවසන්‍ වූයේ ඉදිරි දිනවලදී පොල්වල අවශ්‍යතාව පැන නඟින නිසාවෙන්මය.

          ඊට පසු දිනයේදීම ජයසිංහ මහතා ඉතා බරපතළ ලෙස රෝගාතුර විය.දෙකකුලෙහිම සුව නොවන තුවාල හට ගත්හ.කිසිඳු වෙදකමකට ඒ තුවාල සුව කරලිය නොහැකි විය.කුෂ්ඨ වැනි වූ තුවාල රාශියක් සිරුර පුරා  පැතිරෙන්නට විය.උත්සව ශ්‍රීය අත ළඟටම ආ මොහොතේ ජයසිංහ මහතාට වූ මේ ඇබැද්දිය පිළිබඳව කවුරුත් විස්සෝප වූහ.හේතුව කුමක්දැයි කිසිවෙකුටත් සිතා ගත නොහැකි විය.

          ජයසිංහ මැණිකේට එක්වරම දෙයක් මතක් වුණි.ඇය වහ වහා දිව ගියේ වත්ත කෙලවර වූ පොල් ගස දෙසටයි.ඇය සිතූ දේ නිවැරදි විය.කිසිඳු උපද්‍රවයක් නොමැතිව තම දෙටු ලේලියගේ දරු ප්‍රසූතිය සිදුවීම සඳහා ගස් අතු බැඳ තිබූ පොල් ගසෙන් පොල් කඩා ඇති බව ජයසිංහ මැණිකේට පසක් විය.වෙදකමට සුව කළ නොහැකි තුවාල තම ස්වාමියාගේ සිරුර පුරා හට ගන්නට ඇත්තේ ඒ නිසා බැව් ජයසිංහ මැණිකේ තේරුම් ගත්තාය.

          හැකි ඉක්මනින්ම ජයසිංහ මැණිකේ දුනුමාල දෙවියන් සිහිපත් කරමින් කහ වතුරෙන් සේදූ පඬුරක් තබා දුනුමාල දේවාලයට ගියේ සිදු වූ වරදට සමාව භජනය කිරීම උදෙසාය.කපු මහතාගේ දේව කන්නලව්වෙන් පසු පුතුගේ විවාහ මංගල්‍යය අහවර වූ සැණින්ම පූජා වට්ටියක් දෙවියන් උදෙසා පූජා කරන බවට දෙවියන්ට ඇය පොරොන්දු වූවාය.

          සිදු වූ අත් වැරදීම නිසා ජයසිංහ මහතාට වූ ඇබැද්දිය හේතු කොට ගෙන සියලු දෙනාම පාඩමක් ඉගෙන ගත්හ.ගස් අතු බැඳ දෙවියන්ට උදෙසා වෙන් කළ පොල් ගසකින් පොල් කැඩීම නොකළ යුතු බවත් , එවැනි අත් වැරදීම් මින් මනතට සිදු නොවීමට වග බලා ගැනීමටත් සියලු දෙනාම ඉටා ගත්හ.

          පාරම්පරික ඇදහීම අනුව ලේලියගේ දරු ප්‍රසූතිය සඳහා දේවාශිර්වාදය ලැබෙනු පිණිස සුවඳ දුම් අල්ලා තෝත්තර කියා ගොක් කොළයක් පොල් ගසේ කඳෙහි ගැට ගැසුවේ තමා විසින්ම බව තමාට මතක් නොවූයේ ඇයිද යන්න ජයසිංහ මහතා තවමත් කල්පනා කරයි.සිදු වූ අත් වැරදීම බලපෑවේ තමාට පමණක් වීම ඔහුගේ සතුටට හේතු විය.ඒ තම ලේලියට සහ දරුවාට ඉන් කිසිඳු බලපෑමක් නොවූ නිසාය.

          පුතුගේ  මංගල දිනයට සහභාගි වීමටවත් බැරි ලෙස රෝගාතුර වී සිටි ජයසිංහ මහතා නැවතත් කඩිමුඩියේ වැඩ කරන්නට පටන් ගත්තේ දුනුමාල දෙවියන්ට පිං සිද්ධ වන්නටය.





කෙටි කතාවට පාදක වූ ජනශ්‍රැතිය


          දරු  ප්‍රසූතියක් සිදු වීමට නියමිත නිවසක ගස් අතු බැඳීම යන කාර්යය දුනුමාල දෙවියන් අදහන ගම් පියස්වලට නම් අමුත්තක් නොවේ.ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ කොට්ඨාසයට අයත් බොහෝ ගම්වල ගම්වාසීන් අදහනු ලබන්නේ දුනුමාල දෙවියන්‍ ය.

          දුනුමාල දෙවියන් යනු ප්‍රාදේශීය දෙවි කෙනෙකි.තද ගතිගුණවලින් යුත් දුනුමාල දෙවියන් උදෙසා කරන වතාවත්වලදී අත්  වැරදීමක් සිදු වුවද ඒ සඳහා දඬුවම් ලැබේ.හිතාමතා වරදක් කළේ නම් දඬුවම බරපතලය.

          දුනුමාල දෙවියන්ගේ පිහිට ලබා ගැනීම උදෙසා කරන එක් පූජා විධියකි,ගස් අතු බැඳීම.ගස් අතු බැඳීම සිදු කරන්නේ ගැබිණි මවකගේ දරු ප්‍රසූතිය උපද්‍රවයකින් තොරව සිදුවීම සඳහාය.මවටත් දරුවාටත් යන දෙදෙනාටම දුනුමාල දේව පිහිට ලබා ගැනීම උදෙසා මෙය සිදු කරනු ලබයි.කපු මහතෙක් නොමැති වුව ද ගස් අතු බැඳීම සිදු කළ හැකිය.සුවඳ දුම් අල්ලා තෝත්තර කීමෙන් පසුව එම පොල් ගස දෙවියන් උදෙසා වෙන් කරනු ලබයි.දෙවියන් උදෙසා වෙන් කළ බවට සංකේතවත් කරන්නේ පොල් ගසේ කඳ වටා ගොක් කොළයක් බැඳීමෙනි.ගස් අතු බැඳීමෙන් පසුව ඒ ගසෙහි හට ගන්නා මුල් පොල් වාරය පිළි ගැන්විය යුත්තේ දුනුමාල දෙවියන්ටය.ප්‍රසූතියෙන් තෙමසකින් පසුව වෙන් කළ පොල් දෙවියන් උදෙසා ලබා දිය යුතු ය.තෙමසක් ඇතුළත එය සිදු නොකරන්නේ ප්‍රසූත කිල්ල පවතින නිසාය.

          අත් වැරදීමකින් දෙවියන්ට වෙන් කළ පොල් භාවිතයට ගත හොත් එය බලපාන්නේ ගස් අතු බැඳි පුද්ගලයාට පමණි.අනෙක් කිසිවෙකුටත් ඉන් බලපෑමක් සිදු වන්නේ නැත.

          දුනුමාල දෙවියන් සැර පරුෂ දෙවි කෙනෙක් වුවද උන්වහන්සේගේ ආශිර්වාදය පිළිබඳව දන්නේ දුනුමාල දෙවියන් අදහන පිරිස් පමණකි.

                                 

                                                                                                      කේ.ඒ.සචිනි ඉෂාරා
                                                                                                         HS/2015/0357
                                                                                                සාම්ප්‍රදායික සන්නිවේදනය

6 comments:

කලූ විසින්