Wednesday, August 1, 2018

මගේ ඇසින් ඔබේ ඇසට...

   My Art
                   
























විශ්වාසය...

                  සිඳු රළ සහ වෙරළ



පවන් රැල් ගෙන ගිය ද සිඳු රළ ඈතකට
දනියි වෙරළ යළි සිඳු රළ එන බවට
පවන් රැල්ලේම පිහිටෙන් මිස
එන්නට නොහැකියි සිඳු රළට වෙරළට...

                                                     ( ෂාරා )
                                         කේ.ඒ.සචිනි ඉෂාරා
                                                2018.08.01

Saturday, July 28, 2018

ස්ත්‍රීත්වය පව්කාරකමක් ද?

                 ස්ත්‍රීත්වය පව්කාරකමක් ද?


               මීට සියවස් කිහිපයකට පමණ පෙර ලාංකීය සමාජයේ මෙන්ම බොහෝ ආසියාතික සමාජයන් තුළ ගැහැනු දරුවාගේ උපත පිළි ගත්තේ නැත.ස්ත්‍රී ආත්මය පව්කාර යැයි පිළිගත් නිසාම ජාතක කළ පියාම තම දියණියගේ උප්පත්තිය පිළි නොගත්තේ තමා ද දරුවාගේ උප්පත්තිය කෙරෙහි ඍජු බලපෑමක් කළ බව අමතක කරමිනි.අද මෙන් එදා සමාජය තුළ ද තම බිරිඳගේ කුසේ පවතින ජීවය ගැහැනු ද පිරිමි ද යන වග සොයා බැලීමේ තාක්ෂණයක් පැවතියේ නම් ගැහැනු දරුවා මෙලොව එළිය දකින්නටත් පෙරම ඇගේ පියා ම ඇගේ මිනීමරුවා වන්නට ඉඩ තිබිණි.ඇතැම් විට එය දරුවාගේ මවගේ මළ ගම ද විය හැකිය.

          ස්කෑන් තාක්ෂණය එකල නොතිබූ නිසා තම දරුවා ගැහැනු ද පිරිමි ද යන වග නිශ්චිතවම දැන ගන්නට ලැබෙන්නේ තිඹිරිගෙය හෙවත් උප්පත්ති කාමරය අසලදීය.තීරණය බලාපොරොත්තුවෙන් තිඹිරිගෙය අසල රැඳී සිටින අප්පච්චීට කිරි කැටියෙකුගේ ඇඬුම් හඬක් සවනත වැකෙත්ම ඔහුට සිතෙන්නේ මේ මාගේ පරපුරේ පින්වන්ත උරුමක්කාරයා බව නම්...,අසීමිත අභිමානයකින් සිතත් ගතත් දෙකම උද්දාමයට පත්වේ.නමුත් තිඹිරිගෙයින් එන පණිවිඩය ඍණාත්මක වුවහොත් පණිවිඩය බලාපොරොත්තුවෙන් සිටි දෙගිඩියාව ක්ෂණිකවම මහා කෝපයකට පරිවර්තනය වේ.වින්නඹු අම්මාගේ අවසරයක් නොලැබම තිඹිරිගෙය වෙත යන ඔහු බිරිඳගේත් දියණියගේත් මරණය එකම කඩු පහරකින් තීන්දු කරයි.පව්කාර යැයි සම්මත ස්ත්‍රියගේ ජීවිතය තිඹිරිගෙය තුළදීම විනාශ වූයේ එලෙසිනි.තමා උපන්නේ ද ස්ත්‍රියක් නිසා බව ඔහුට අමතක වුණි ද?නැතිනම් සිතා මතා අමතක කර ඇතිද?

            ස්ත්‍රිය පව්කාර නම් පව්කාරියක් විවාහ කර ගත්තේ ඇයිද යන්න පුරුෂයාගෙන් විමසිය යුතු කරුණකි.දරුවා නිසා මවට වුණු අසාධාරණයට ස්වාමි පුරුෂයා වශයෙන් ඔහු වගකියන්නේද?පරපුර ඉදිරියට ගෙන යාමට උරුමක්කාරයෙක් අපේක්ෂාවෙන් ඔහු තවත් ස්ත්‍රියක් විවාහ කර ගනියි.ස්ත්‍රියක් වශයෙන් ඇය ද පව්කාරියකි.ඇය ද පුතෙක් වදන්නට අසමත් වුවහොත් පව්කාර ඇගේ දෛවයද දෙවියන් සතුය.

          පුතෙක් හෝ දුවෙක් වැදීම ගැහැනියගේ පව හෝ පින මත සිදුවන්නක් නොවන බව තේරුම් ගැනීමට එදා සමාජයේ පුරුෂ මොළයන්ට හැකි වූයේ නැත.තම කුසෙහි හොත් දරුවා ගැහැනු ද පිරිමි ද යන වග මත අනවරත පීඩනයකින් පෙළෙන මවගේ හද ගැස්ම දරුවාට දැනෙන්නේ මහා භූමිකම්පාවක් සේය.පුරුෂාධිපත්‍ය මඟින් ඇයට එල්ල කරන පීඩනය නිසාම දරුවා වෙනුවෙන් මානසික තත්ත්වය යහපත් මට්ටමකින් පවත්වාගෙන යාමට ඇයට හැකි ද?

           මානුෂීය පියෙකුගේ දුවෙක් වූ නිසා පළමු හුස්ම පොද ජීවිතයේ අවසන් හුස්ම පොද නොවීමේ වාසනා ගුණයද කරපින්නාගෙන මෙලොව එළිය දකින්නට අයිතිය හිමි වූයේ එහෙමත් වූ ස්ත්‍රි පරාණයකටය.එවැනි මානුෂීය පියවරුන් එකල සමාජය තුළ නොසිටියාම නොවේ .දියණිවරුන්ට සැබෑවටම ස්නේහවන්ත පියවරුන්ගේ හිඟයක් පමණක් එකල පැවතුණි.

          අතීත සමාජය තුළ මේ තරමටම ස්ත්‍රීත්වය පව්කාරකමක් ලෙස සැලකුවේ ඇයිද යන්න සොයා බැලීම අතිශය වැදගත්‍ ය.සාමාන්‍යයෙන් ස්ත්‍රියට වඩා පුරුෂයා උතුම් බව සැලකේ.පුරුෂ ආත්මයක් ලැබීම මහා පින්වන්තකමක් බව බුදුදහම ඇතුළු සෙසු ආගම්වලද සඳහන් වේ.බුදුදහම පිළිබඳ විමසීමේදී පුරුෂ ආත්මයන් උතුම් කොට සැලකීමට හේතුව වන්නේ බුද්ධත්වය ලැබීම ස්ත්‍රියට කළ නොහැකි නිසාය.බුදුබව  ප්‍රාර්ථනා කිරීම පමණක් ඇයට සිදු කළ හැකිය.ඒ කරුණ මිස වෙනත් කිසිඳු කරුණක් ස්ත්‍රීත්වයේ පව්කාරකමට බුදුදහම තුළදී සාක්ෂි නොදරයි.බුදුරජාණන් වහන්සේ කිසිම මොහොතක ස්ත්‍රී වර්ගයා පව්කාර යැයි ප්‍රකාශ කර නැත.උන්වහන්සේ වදාළේ ස්ත්‍රියටද මාර්ගඵල ලැබිය හැකි බවයි.

       අතීත සමාජයට අනුව ස්ත්‍රීත්වය පව්කාර නම් ඒ පව්කාර ස්ත්‍රිය නිසා ගොඩනැගුණු මුළු මහත් ලෝකයම පව්කාර නොවන්නේද?යුවතිය ගැහැනියක් බවට පත්වන්නේත්,ගැහැනිය මවක් බවට පත් වන්නේත් උතුම් ලෙස සම්මත පුරුෂ පාර්ශවය නිසාය.ස්ත්‍රියගේ ජීවිතයේ ඒ භූමිකා හුවමාරුව මත ගොඩනැගෙන මුළු ලෝකයම පව්කාර වුණි නම් මවකගේ කුසින් බිහිවන පුරුෂ පරාණයන් ද පව්කාර විය යුතුය.

        පව්කාර වූ ස්ත්‍රිය නිසා  ගොඩනැගුනු පින්වන්ත වූ පුරුෂ සමාජය පින්වන්ත ආකාරයෙන්ම ක්‍රියා කළේද යන ගැටලුව පවතී.ඔවුන්ගේ පින්වන්තකම රඳා පවතින්නේ ස්ත්‍රියට දක්වන ගෞරවය මතය.පව්කාරියන් ලෙස ඔවුන් ඇඟිල්ල දිගු කරන්නේ යශෝධරා,මහාමායා පරපුරෙන් පැවත එන සමස්ත ස්ත්‍රි වර්ගයාටමය.පව්කාර ස්ත්‍රියකගෙන් උපන් පින්වන්ත පුතෙකු ස්ත්‍රින් පව්කාර බව තම මව ඉදිරියේදීම ප්‍රකාශ කරන්නේ කෙසේද?ඔවුන් දැනුවත්ම හෝ නොදැනුවත් එය ප්‍රකාශ කරන්නට ඇත.ප්‍රශ්නය උද්ගත වී ඇත්තේ එතැන් සිටය.

      මේ කරුණ සම්බන්ධයෙන් පුරුෂ පාර්ශවයට පමණක් දොස් කීම ඵලක් නොවේ.එකල සමාජයේ ජීවත් වූ මනුෂ්‍ය නමැති සත්ත්ව කොට්ඨාසයේ චින්තනයේ වූ වරදක් හේතු කොටගෙන ස්ත්‍රිය පව්කාර වන්නට ඇත.

                     අතීතයට සාපේක්ෂව වර්තමාන සමාජය  ස්ත්‍රීත්වය පව්කාර බව  නොසිතයි.නූතන සමාජය විසින්ම ස්ත්‍රියට ඇයගේ නිසි තැන ලබා දී තිබේ.පුරුෂ පාර්ශවය හා සමගාමීව ස්ත්‍රි පාර්ශවය ද ආර්ථික , දේශපාලනික හා සමාජයීය අංශයෙන් ඉදිරියටම ගොස් අවසන්‍ ය.නමුදු බොහෝ අවස්ථාවල පුරුෂාධිපත්‍ය මඟින් එල්ල වන්නා වූ පීඩනය ස්ත්‍රියගේ ජීවිතය කෙරෙහි බල පැවැත්වේ.උතුම් යැයි සම්මත පුරුෂ ආත්මයක් ලැබීම හේතු කොටගෙන ස්ත්‍රින්ට අනවශ්‍ය ආකාරයේ බලපෑම් කිරීමට කිසිඳු පුරුෂයෙකුට ඉඩ ලබා නොදිය  යුතුය.

     ස්ත්‍රිත්වය පව්කාර ද යන වග සොයා බැලීමට වඩා පොදුවේ සියලු දෙනාම මනුෂ්‍ය වර්ගයට අයත් වීම පිළිබඳව සතුටු විය යුත්තේමය.පින්වන්ත වූ ලෝකයක් නිර්මාණය කිරීම උදෙසා මේ දෙදෙනාගේම දායකත්වය නොමඳව ලබා දිය යුත්තේ පව්කාර පින්කාර බව නොතකමිනි.



                                                    ( ෂාරා )
                                      කේ.ඒ.සචිනි ඉෂාරා                                                     2018.07.26


Thursday, July 26, 2018

දුනුමාල දෙවියන් පිළිබඳ ජනප්‍රවාද

  ගස් අතු බැඳීම



          පරම්පරා ගණනාවක පටන්ම ගමේ යමක් කමක් ඇත්තන් වශයෙන් සියලු දෙනාම හඳුනාගෙන සිටියේ ජයසිංහ පරම්පරාවයි .මේ දිනවල ජයසිංහ නිවසට ඉස්පාසුවක් නොමැත්තේ ජයසිංහ නිවසේ කණිටු පුතුගේ විවාහ මංගල්‍යය නිසාය.නොබෝ දිනකින්  මනාලිය කැන්දා ගෙන ඒමේ උත්සවයට සියලු දෙනාම ලක ලැහැස්ති වෙමින් සිටිති .මිල මුදල් යහමින් තිබෙන මේ පවුල කෙරෙහි ගම්වාසීන් තුළ ඇත්තේ ප්‍රසාදයකි .ඒ නිසාම ජයසිංහ නිවසේ ඕනෑම වැඩ කටයුත්තකදී නොපිරිහෙළා තම දායකත්වය සපයන්නට ගම්වාසීන් මැලිකමක් නොදක්වති .

          මනමාල මහතාටත් වඩා මේ මංගල්‍යය ඉහළින්ම සිදු කරන්නට  උනන්දුව ඇත්තේ  ජයසිංහ මහතාටය.මීට වසර දෙකකට උඩදී තම දෙටු පුතුගේ විවාහ මංගල්‍යය සම්බන්ධයෙන් ද ඔහු දැරුවේ මේ අදහසමය.පුතුන් පරම්පරාවේ අභිමානය වුව ද දියණියක් නොමැතිකම පිළිබඳව ඔහු තුළ කනස්සල්ලක් නොතිබුණාම නොවේ.තම පුතුගේ සහකාරිය වී ලේලියක ලෙසින් තම පවුලට එකතු වුවද ඒ දියණිය  තම දියණියක් වැනි ම බව ජයසිංහ මහතා නිතර සිතන කරුණකි.

          දැන් එම දියණිය නව  මස් ගැබිණියක වූවාය.පරම්පරාවට අලුතින්ම සාමාජිකයෙකු එකතු වීමත් , කණිටු පුතුගේ විවාහ මංගල්‍යයත් නිසා මේ දිනවල ජයසිංහ නිවසට සොම්නස් සහගත කාර්යබහුලත්වයක් අරෝපණය වී ඇත.

         මනාලිය කැන්දා ගෙන ඒමේ උත්සවය මහ ඉහළින් සමරන්නට ජයසිංහ නිවස ද ගජරාමෙට සූදානම් වේ.ජයසිංහ මැණිකේ මේ සියලුම කටයුතු මනාව සංවිධානය කළාය.උත්සව දිනයේදී ඉවුම්පිහුම් කටයුතු නිවස තුළම කිරීම සියලු දෙනාගේම යෝජනාව විය.ඒ සඳහා අවශ්‍ය බොහෝ දෑ දැනටමත් සූදානම්  කර අවසන්‍ ය.සිරිපාල කොලුවා ගමේ නොසිටීම නිසා අතපසු වූ එකම කාරිය වූයේ පොල් කඩා අවසන්‍ කිරීම පමණි.එම වැඩය නිම කිරීමට ජයසිංහ මහතා සිරිපාල එන තෙක් බලා සිටියේ නැත.වත්තෙහි වූ පොල් ගස් සියල්ලකම පාහේ පොල් කඩා අවසන්‍ වූයේ ඉදිරි දිනවලදී පොල්වල අවශ්‍යතාව පැන නඟින නිසාවෙන්මය.

          ඊට පසු දිනයේදීම ජයසිංහ මහතා ඉතා බරපතළ ලෙස රෝගාතුර විය.දෙකකුලෙහිම සුව නොවන තුවාල හට ගත්හ.කිසිඳු වෙදකමකට ඒ තුවාල සුව කරලිය නොහැකි විය.කුෂ්ඨ වැනි වූ තුවාල රාශියක් සිරුර පුරා  පැතිරෙන්නට විය.උත්සව ශ්‍රීය අත ළඟටම ආ මොහොතේ ජයසිංහ මහතාට වූ මේ ඇබැද්දිය පිළිබඳව කවුරුත් විස්සෝප වූහ.හේතුව කුමක්දැයි කිසිවෙකුටත් සිතා ගත නොහැකි විය.

          ජයසිංහ මැණිකේට එක්වරම දෙයක් මතක් වුණි.ඇය වහ වහා දිව ගියේ වත්ත කෙලවර වූ පොල් ගස දෙසටයි.ඇය සිතූ දේ නිවැරදි විය.කිසිඳු උපද්‍රවයක් නොමැතිව තම දෙටු ලේලියගේ දරු ප්‍රසූතිය සිදුවීම සඳහා ගස් අතු බැඳ තිබූ පොල් ගසෙන් පොල් කඩා ඇති බව ජයසිංහ මැණිකේට පසක් විය.වෙදකමට සුව කළ නොහැකි තුවාල තම ස්වාමියාගේ සිරුර පුරා හට ගන්නට ඇත්තේ ඒ නිසා බැව් ජයසිංහ මැණිකේ තේරුම් ගත්තාය.

          හැකි ඉක්මනින්ම ජයසිංහ මැණිකේ දුනුමාල දෙවියන් සිහිපත් කරමින් කහ වතුරෙන් සේදූ පඬුරක් තබා දුනුමාල දේවාලයට ගියේ සිදු වූ වරදට සමාව භජනය කිරීම උදෙසාය.කපු මහතාගේ දේව කන්නලව්වෙන් පසු පුතුගේ විවාහ මංගල්‍යය අහවර වූ සැණින්ම පූජා වට්ටියක් දෙවියන් උදෙසා පූජා කරන බවට දෙවියන්ට ඇය පොරොන්දු වූවාය.

          සිදු වූ අත් වැරදීම නිසා ජයසිංහ මහතාට වූ ඇබැද්දිය හේතු කොට ගෙන සියලු දෙනාම පාඩමක් ඉගෙන ගත්හ.ගස් අතු බැඳ දෙවියන්ට උදෙසා වෙන් කළ පොල් ගසකින් පොල් කැඩීම නොකළ යුතු බවත් , එවැනි අත් වැරදීම් මින් මනතට සිදු නොවීමට වග බලා ගැනීමටත් සියලු දෙනාම ඉටා ගත්හ.

          පාරම්පරික ඇදහීම අනුව ලේලියගේ දරු ප්‍රසූතිය සඳහා දේවාශිර්වාදය ලැබෙනු පිණිස සුවඳ දුම් අල්ලා තෝත්තර කියා ගොක් කොළයක් පොල් ගසේ කඳෙහි ගැට ගැසුවේ තමා විසින්ම බව තමාට මතක් නොවූයේ ඇයිද යන්න ජයසිංහ මහතා තවමත් කල්පනා කරයි.සිදු වූ අත් වැරදීම බලපෑවේ තමාට පමණක් වීම ඔහුගේ සතුටට හේතු විය.ඒ තම ලේලියට සහ දරුවාට ඉන් කිසිඳු බලපෑමක් නොවූ නිසාය.

          පුතුගේ  මංගල දිනයට සහභාගි වීමටවත් බැරි ලෙස රෝගාතුර වී සිටි ජයසිංහ මහතා නැවතත් කඩිමුඩියේ වැඩ කරන්නට පටන් ගත්තේ දුනුමාල දෙවියන්ට පිං සිද්ධ වන්නටය.





කෙටි කතාවට පාදක වූ ජනශ්‍රැතිය


          දරු  ප්‍රසූතියක් සිදු වීමට නියමිත නිවසක ගස් අතු බැඳීම යන කාර්යය දුනුමාල දෙවියන් අදහන ගම් පියස්වලට නම් අමුත්තක් නොවේ.ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ කොට්ඨාසයට අයත් බොහෝ ගම්වල ගම්වාසීන් අදහනු ලබන්නේ දුනුමාල දෙවියන්‍ ය.

          දුනුමාල දෙවියන් යනු ප්‍රාදේශීය දෙවි කෙනෙකි.තද ගතිගුණවලින් යුත් දුනුමාල දෙවියන් උදෙසා කරන වතාවත්වලදී අත්  වැරදීමක් සිදු වුවද ඒ සඳහා දඬුවම් ලැබේ.හිතාමතා වරදක් කළේ නම් දඬුවම බරපතලය.

          දුනුමාල දෙවියන්ගේ පිහිට ලබා ගැනීම උදෙසා කරන එක් පූජා විධියකි,ගස් අතු බැඳීම.ගස් අතු බැඳීම සිදු කරන්නේ ගැබිණි මවකගේ දරු ප්‍රසූතිය උපද්‍රවයකින් තොරව සිදුවීම සඳහාය.මවටත් දරුවාටත් යන දෙදෙනාටම දුනුමාල දේව පිහිට ලබා ගැනීම උදෙසා මෙය සිදු කරනු ලබයි.කපු මහතෙක් නොමැති වුව ද ගස් අතු බැඳීම සිදු කළ හැකිය.සුවඳ දුම් අල්ලා තෝත්තර කීමෙන් පසුව එම පොල් ගස දෙවියන් උදෙසා වෙන් කරනු ලබයි.දෙවියන් උදෙසා වෙන් කළ බවට සංකේතවත් කරන්නේ පොල් ගසේ කඳ වටා ගොක් කොළයක් බැඳීමෙනි.ගස් අතු බැඳීමෙන් පසුව ඒ ගසෙහි හට ගන්නා මුල් පොල් වාරය පිළි ගැන්විය යුත්තේ දුනුමාල දෙවියන්ටය.ප්‍රසූතියෙන් තෙමසකින් පසුව වෙන් කළ පොල් දෙවියන් උදෙසා ලබා දිය යුතු ය.තෙමසක් ඇතුළත එය සිදු නොකරන්නේ ප්‍රසූත කිල්ල පවතින නිසාය.

          අත් වැරදීමකින් දෙවියන්ට වෙන් කළ පොල් භාවිතයට ගත හොත් එය බලපාන්නේ ගස් අතු බැඳි පුද්ගලයාට පමණි.අනෙක් කිසිවෙකුටත් ඉන් බලපෑමක් සිදු වන්නේ නැත.

          දුනුමාල දෙවියන් සැර පරුෂ දෙවි කෙනෙක් වුවද උන්වහන්සේගේ ආශිර්වාදය පිළිබඳව දන්නේ දුනුමාල දෙවියන් අදහන පිරිස් පමණකි.

                                 

                                                                                                      කේ.ඒ.සචිනි ඉෂාරා
                                                                                                         HS/2015/0357
                                                                                                සාම්ප්‍රදායික සන්නිවේදනය

පුංචි තරුවක් සතුටු වී...

                                                                                                 
පුංචි තරුවක් සතුටු වී...




සඳ අහසට අයිති වුණ ද
සඳ ඕනෙ මුළු ලෝකෙටම
අඳුරුයි නැත්නම් මුළු ලෝකෙම
සඳ නම් දන්නවා ඒ ගැන

අහස එය තේරුම් නොගෙන
බනිනවා සඳට හැමදාම
සඳට දුකයි ඒ හින්දම
රෑට අඬනවා සඳ හොරෙන්ම

අහස හිතන්නෑ ලෝකය ගැන
අහසට බයයි සඳ ගැන
සඳ මට අහිමි වෙයි ද යන වග
අහසටත් හිතෙනවා හැමදාම

සඳ තමාට අයිති වෙනවට
අහස කැමතියි  නිතැතින්ම
වළාකුළුගෙන් උදව් අරගෙන
අහස හදන්නෙ සඳව හන්ගන්න

පුංචි තරුවක් සඳ ගැන දන්න
දකිනවා හැමදාම මේ සිදුවීම
තරුවටත් දුකයි සඳ ගැන
ඒත් මොනවා නම් කරන්න ද?

ලෝකයම අඳුරෙන් වෙලෙන බව
තරුවටත් තේරෙනවා හොඳටම
තරහයි තරුවට වලාකුළු ගැන
ඒ අහසට උදව් කරනවට

අමාවකක් නොවුණ ද එදින
පාළුයි අහසත් එක්කම
සතුටු ඇති දැන් අහසට
සඳ ලෝකයෙන් හංග ගත්තට

සඳ එළිය ලෝකයට දුන්නද
සඳ ඉන්නෙ හැමදාම අහස එක්ක
අහසට නොතේරුණ ද එය
තරුවටත් තේරෙනවා ඒ ගැන

සඳ අහසටම අයිති වග
තේරෙනවා බලන හැමෝටම
සඳ එළිය ලෝකයට අවැසි වග
තේරුම් ගනීවි ද අහස?

තරුව කතා කරනවා අහසට
සඳට තරවටු නොකරන ලෙසට
අහස තේරුම් ගන්නවා එය
සතුටුයි දැන් පුංචි තරුවට.........


 ( ෂාරා )
   කේ.ඒ.සචිනි ඉෂාරා 
2018.07.23
                      

කලූ විසින්